ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත ආර්ථික දියුණුවක් ලත් රටකි. අපේ අටුකොටු පිරුණේ සහල් වලිනි. ඒ නිසා තුන් වේලම බත් අනුභව කිරීමට අපට ශක්තිය ලැබිණි. ශ්‍රී ලංකාවේ පාරම්පරිකව පැවත එන දේශීය සහල් වර්ග කිහිපයක් ඇත. ඒ අතරට පොඩි හීනැටි බාල හීනැටි, මඩකලපු හීනැටි, මාතර හීනැටි, මහමා මුදලි, සුදු හීනැටි, කුරුලු තුඩ, සුවඳැල්, හාල් ඇලි යන වර්ගයන් ඇතුළත් වෙයි.
🔴 හීනැටි හාල්
හීනැටි හාල් බත පිස එයට පොළොස් සම්බෝලයක් එක්කර ගතහොත් එය රසවත් ආහාරයකි. මෙම බත ආමාශය නීරෝගී කරමින් ආමාශගත රෝග සුවපත් කිරීමට බෙහෙවින් උපකාරී වෙයි. ළමුන්ගේ අජීර්ණ වලදී කබලෙන් බැද කැඳ පිස බීමෙන් අජීර්ණ රෝග ද, අතීසාරයද සුවපත් කරගත හැකියි.
මෙම බත් ශක්තිය, බලය, ජව සම්පන්න බව ඇති කරන බව ඒ කාලයේ රාජ සභාවේ සිටි කවට අන්දරේගේ කතා වලින් ද පැහැදිළි වේ. ඒ මන්ද යත් කවට අන්දරේ ගමරාළගේ කුඹුර මැද ඇති ගල් ගෙඩිය ඉස්සීමට මසක් පුරා කෑවේද හීනටි හාලේ බත් සමඟ කළුකුම් මාළුවයි.
🔴 ඇල් වී
තවමත් ගම්බද ගොවියා ගුණවත් මෙන්ම රසවත් සහල් නිෂ්පාදනය කරයි. එවැනි ගුණවත් සහලක් ලෙස ඇල් වී සඳහන් කළ හැකියි.
ඇල් වී සහල් කොටා සාදාගන්නා පිටි වලින් රොටී සාදා ආහාරයට ගත හැකියි. මෙයින් ආමාශගත රෝග, මුත්‍රා ආබාධ, වකුගඩු රෝග පවා සුවපත් වෙයි. නිදිබර ගතිය, හිස කැක්කුම, මලානික ස්වභාවය මෙයින් පහවී යන බව සඳහන් වෙනවා.
🔴 කුරුලු තුඩ
ආමාශයට හිතකර මෙන්ම කාය ශක්තිය වර්ධනය කරන සහලකි. ශරීරගත විෂ මර්දනයට මෙම සහල් සුදුසුයි.
🔴 සුවඳැල්
මිල අධික වුවත් මෙය ආහාරයට ගත හැකිනම් දියවැඩියා රෝගීන්ට ඉතාමත් හොඳ රසවත් ආහාරයකි. මෙය ඉදෙන විට සුවඳක් හමයි. එම සුවඳ නිසාම ආහාර ප්රියතාව ඇතිකරයි. පොල් සම්බෝලයක් සාදා වුවද රස බැලිය හැකි රසවත් සහලකි.
🔴 මාතර හීනැටි
දකුණට සීමා වුවද කොළඹ කොළඹ මාතර බත් කඩවල විශේෂයෙන් දැකිය හැකි සහලකි. දකුණේ අය සාදනු ලබන පොල් සම්බෝලය මාළු, බිත්තර යොදා සකසන ව්‍යාජනය මේ බත සමඟ යොදාගනු ලබනවා. මතක ශක්තිය දුර්වල අයට ඉතාමත්ම යහපත් සහලක් වශයෙන් හැඳින්විය හැකියි.
🔴 රතු කැකුළු
මේ දිනවල වැඩිහිටියන් අතර ජනප්‍රිය සහලකි. එයට හේතුව මෙම සහලේ මේදය අඩු වීමයි. එම නිසා දියවැඩියා, කොලෙස්ටරෝල් රෝගීන්ට මෙය ඉතා ගුණදායකයි.
මෙම රතු කැකුළු සහලින් රසවත් මෙන්ම ගුණවත් ආහාර බොහෝමයක් සෑදිය හැකියි. විශේෂයෙන් කොළ කැඳ පිසින විට ආහාර රසය මෙන්ම ප්‍රෝටීන බහුල කර ගැනීමට මෙම සහල් යොදාගැනීම සිදුකරනවා.
අග්න්‍යාශය ශක්තිමත් කර අවශ්‍ය ඉන්සියුලින් හෝර්මෝනය නිපදවාගත හැකි බලයක් මෙම සහල් තුළ අඩංගුයි. රතු කැකුළු කබලෙන් බැද ලුණු කැඳ වශයෙන් සකස්කර දිමෙන් ළදරුවන්ගේ උණ, සෙම් ගතිය පවා පහකරගත හැකියි.
🔴 තම්බපු සහල්
ගැස්ට්‍රයිටිස් රෝගයට හිතකර ඖෂධ විශේෂයකි. කැඳ වර්ගද මෙම සහලින් සාදාගනු ලබනවා. වී තම්බා කොටා සහල් තම්බා සකස් කරනු ලබන නිසා මෙය තම්බපු සහල් ලෙස හඳුන්වයි.
රාත්රියේදී පිසින ලද බත් වලින් ඉතුරුවන බත් ටික පසුවදා උදේ හීල් බත ලෙස ආහාරයට ගනු ලබයි. ඒ වගේම ගැස්ට්‍රයිටිස් රෝගය තිබෙන අයට විශේෂ රසවත් පානයක් ලෙස දියබත් කැඳ මෙයින් සාදාගත හැකියි.
රාත්රියේදී පිසින ලද බතෙහි ඉතිරිය මඳක් කලවම් කර රතුළූණු කැබලි දමා, උදේට පොල්කිරි ස්වල්පයක් දමා කලවම් කර ලුණු ස්වල්පයක් දමා පානය කරන්න පුළුවන්. මෙයට ගම්බද ගෙවල් වල අය දියබත ලෙස සඳහන් කරනවා. ළමුන්ගේ ඇතිවන රෝග බොහෝමයකට මෙය ගුණදායකයි. ඒ වගේම ආමාශගත සියලු රෝග සුවපත් කරගත හැකි වටිනා ඖෂධීය ගුණයක් ඇති ආහාරයක් ද වනවා.
👦 තොරතුරු :- ආයුර්වේද වෛද්‍ය චන්ද්‍රදාස කලුතන්ත්‍රි මහතා
👩 සටහන :- සමාධි ඕබඩ ආරච්චි
🖊️ සැකසුම :- හෙළ අරණ™️
👩 සටහන :- සමාධි ඕබඩ ආරච්චි
🖊️ සැකසුම :- හෙළ අරණ™️
0 Comments