පෝෂණ ගුණය නොඅඩුව දෙන අල කොළ

 

අල කොළ කියන්නෙ මානව සංහතියේ මූලාරම්භය දක්වා දිගු ඉතිහාසයක් තියෙනපැළෑටියක්. ආසියානු සහ අප්‍රිකානු රටවල මිනිසුන් තමයි මුල්ම අවධියේ පටන් ආහාර සඳහා අල කොළ භාවිතා කරලා තියෙන්නේ. මේවට වෙල් අලකොළ කියලත් කියනවා. කළුඅල කොළ සහ සුදු පැහැති අල කොළ ලෙස වර්ග දෙකක් තියෙනවා. මේකෙන් වඩාත්ම රසවත් සහ පෝෂණ ගුණයෙන් ඉහළ වෙන්නේ කළු අලකොළ  කියන වර්ගය. ඒ කියන්නේ නැට්ට දම් පැහැති වර්ගය.

සින්ක්, පොටෑසියම්, යකඩ, කැල්සියම්, පොස්පරස්, ප්‍රෝටීන්, තඹ, මැග්නීසියම් ආදී පෝෂක කොටස් අල කොළ වල බහුලයි. ඒ වගේම විටමින් A, B, C, E, K ආදියත් අල කොළ වල අඩංගු වෙනවා.

අල කොළ මේදය දහනය කරන ගුණයෙන් යුක්ත නිසා සිරුරේ බර අඩු කරනවා වගේම කොලෙස්ටෙරෝල් හැදෙන ඉඩකඩ වළක්වා ගන්නත් උදව් වෙනවා. පොටෑසියම් බහුල ආහාරයක් නිසා හදවතට ඉතාමත් හොඳයි. හදවත් රෝගීන්ට අල කොළ බොහොම හොඳ ආහාරයක්.

අල කොළ අස්ථි ශක්තිමත් කරන, පේශි වල ක්‍රියාකාරීත්වය යහපත් කරන ඉතා ගුණවත් ආහාරයක්. ඒ වගේම ලේ වඩන ආහාරයක් නිසා හිමොග්ලෝබින් මට්ටම වැඩි කරන ගුණයෙන් යුක්ත වනවා. අල කොළ වල තන්තු බහුලව අඩංගු වන නිසා සීනි අවශෝෂණයට බාධා ඇති කරනවා. මේ නිසා ශරීරයේ සීනි මට්ටම පාලනය කරන ගුණයෙන් යුක්ත වටිනා ආහාරයක් ද වනවා. ඒ වගේම ස්නායු ශක්තිමත් කරන නිසා අල කොළ නාඩි ව්‍යුහය සම්බන්ධ සියලු රෝග වලට හිතකර වෙනවා. මෙහි ෆෝලේට අඩංගු වන නිසා මොළයට ද ඉතාමත් ගුණදායකයි.

අල කොළ වල විටමින් A, C, E යහමින් ඇති නිසා සමට ඉතාමත් හොඳයි. සම ලස්සන කරන, වයසට යාම පාලනය කරන, තිරිහන් කරන ආහාරයක් කියලා තමයි ආයුර්වේද පොත් පත් වල අල කොළ ගැන සඳහන් වෙන්නේ. සින්ක් බහුල නිසා සම මතුපිට ලප කැළැල්, අවපැහැගැන්වීම් ඉවත් කරලා දානවා. මෙයින් සම රැළි වැටීම වළක්වනවා විතරක් නෙමෙයි හිරු කිරණින් සමට වන හානියද වළක්වා ගන්න උදව් වෙනවා. එසේ වන්නේ කොලැජන් නිෂ්පාදනයට උපකාරී වන ඇමයිනෝ අම්ල අල කොළ වල යහමින් අඩංගු වන නිසයි.

අල කොළ ආහාර සඳහා ගන්නා ප්‍රධාන රටවල් අතරින් ජපානය ඉදිරියෙන්ම ඉන්නවා. ජපන් විශේෂ කෑම වර්ග අතරින් අල කොළ උපයෝගී කරගෙන හදන කෑමක් තියෙනවා. ඒක හරිම රසයි. මමත් එය කාලා තියෙනවා. ඉතින් මේ වගේ ගුණවත් ආහාර ඔබත් මගහරින්න එපා. අල කොළ වැඩිහිටියන්ට විතරක් නෙවෙයි පොඩි අයටත් ඉතාමත් ගුණවත් ආහාරයක්.

අලකොළ ඇඹුල හදනකොට අල කොළ දළු කඩලා දවස් දෙකක් මද පවනේ තියෙනවා මැලවෙන්න. මොකද මේ කොළ වල කැල්සියම් අධික නිසා උගුර, තොල් කසන්න පුලුවන්. සමහර වෙලාවට අතත් කසනවා. ඒ නිසා දින කීපයක් තියල පොඩි කෑලි වලට කඩාගෙන, මිරිස්, තුනපහ, කහ කුඩු, අමු මිරිස් කරල් කීපයක්, ලූණු, කුරුඳු කැබැල්ලක් එයට එක්කරලා සියඹලා, ලුණු අවශ්‍ය  පමණට එකතුකර වතුර ටිකක් දමා පළමුව පැහෙන්න අරින්න. පැහෙන කොට අල කොළ ටික එක්කරලා මද ගින්නේ තැම්බෙන්න හරින්න. තැම්බුනාට පසුව පිරිසිදු පොල් තෙල් ටිකක් රත් කර එයට අබ, කරපිංචා, සුදුළූණු ටිකක් දම හොඳට තෙම්පරාදු කරලා ගන්න. ඕනෙ නම් පොල් කිරි ටිකක් දාලා ගන්නත් පුළුවන. හරිම රසයි. ඒ වගේම ගුණයත් ඉහළයි.

අල කොළ ගුණයෙන් ඉහළ නමුත් උෂ්ණාධික ආහාරයක් කියලා තමයි ආයුර්වේදයේ හා දේශීය වෛද්‍ය මතය වන්නේ. ඒ නිසා ගැස්ට්‍රයිටිස් රෝගීන්, ගැබිනි මව්වරු, කිරි දෙන මව්වරු, ලේ පිටවන අර්ශස් රෝගීන්ට හෝ ඔසප් සමයේ සිටින තරුණ කාන්තාවන්ට දෙන්න එපා. ඔවුන් ඉඳහිට ගත්තාට වරදක් නෑ. මෙය සියළුම පෝෂණ කොටස් බහුල ආහාරයක් නිසා ලේ වඩන ගුණයෙන් ඉහළයි. ඒ නිසා තන කිරි වඩවන්න දීමට හැකි සුදුසු ආහාරයක්. නමුත් උෂ්ණ ගුණ‍යෙන් යුක්ත නිසා කිරි දෙන මවට නිතරම ආහාරයට දෙන්න එපා කියලයි මම නම් කියන්නේ.

අල කොළ සොයා ගැනීමට පහසු ආහාරයක්. නිතරම අල තෙල් දාල, පරිප්පු උයලා, චිකන් කරි හදන්න එපා. මේක උයලා බලන්න මස් ඉව්වා වගේ රසයක් තියෙන්නේ. කාර්යබහුල නිසා පරිසරයේ ඇවිදලා හොයා ගන්න අමාරු නම් පොළකට යන්න. ඕනෙ තරම් තියෙනවා අල කොළ මිලදී ගන්න. අල කොළ විතරක් නෙවෙයි ගොඩක් කොළ වර්ග ගමේ පොළෙන් මිළදී ගන්න පුළුවන්. ඉතින් ඔයත් අල කොළ හදලා කාලම බලන්නකෝ...

👩‍⚕‍ සටහන :- ආයුර්වේද වෛද්‍ය තනුජා සුදර්ශනි ලොකුසූරිය මහත්මිය

📞 076 40 36 943

© All Rights Reserved


Post a Comment

0 Comments