කොලෙස්ටරෝල් වලට හොඳම විසඳුම ගෙනෙන "කරපිංචා සම්බෝලය" නිවැරැදිව හදන හැටි

 

ආහාර සකස් කිරීමේදීත් දේශීය වෙදකමේදීත් අපට නිතර නිතර භාවිතා වන ඔසුවක් ඇත්නම් ඒ තමයි කරපිංචා. ආයුර්වේද වෙදකමේදී බොහෝ ඖෂධ වර්ග, කැඳ වර්ග සෑදීම සඳහා මේ කරපිංචා බහුලව යොදාගැනෙනවා.

කරපිංචා කොළ ටික මෙච්චර අපේ  ජීවිතයට සමීප වුනේ ආහාර රසවත් කරන රසකාරකයක් සුවඳකාරකයක් නිසාම නෙවෙයි. අත්බෙහෙතක් ලෙස මේ කරපිංචා නිතර අපේ දෛනික ජීවිතයේදී භාවිතා වීමත්, එහි ඇති ඖෂධීය බල මහිමය, ගුණ මහිමය සහ පෝෂණීය වටිනාකම අපේ මුතුන් මිත්තන් අත්දැකීමෙන්ම දැනගෙන සිටීම මෙයට හේතු වුනා.

අපේ මේ චූටි ලංකාව තුළ කරපිංචා ප්‍රභේද ගණනාවක් දකින්න පුළුවන්. මාළු කරපිංචා, වල් කරපිංචා, ගොං කරපිංචා, වන්නි කරපිංචා, උඩරට කරපිංචා, ගිරිතලේ කරපිංචා, ලග්ගල කරපිංචා, බිංතැන්න කරපිංචා යනාදිය මේවාට උදාහරණයි. නමුත් සූපශාස්ත්‍ර කලාවෙහි පරතෙරට ගිය විශේෂඥයින් නම් නියම සුවඳ සහ රසය තියෙන කරපිංචා හඳුන්වන්නේ "ගං කරපිංචා" යන නාමයෙනුයි. සාමාන්‍යයෙන් එය වල් කරපිංචා වලට වඩා සැබෑ රසයක් සුවඳක් ගුණයක් ආහාරයට එක්කරන බව ඔවුන්ගේ පිළිගැනීමයි.

ව්‍යංජන සැකසීමේදී අමු කරපිංචා කොළ යෙදීමට අමතරව තුනපහ පිළියෙළ කිරීමට මද පවනේ වියළන ලද කරපිංචා කොළ මිටක් පමණ එකතු කිරීම බොහෝ ගෘහණියන්ගේ සිරිතක්. ඒ වගේම මේ කරපිංචා, කැඳ, දළු, සම්බෝල හා කලවම් මැල්ලුම් ලෙස අපේ දෛනික අහාරයට එකතුකරගත හැකියි. 

🔴 කරපිංචා වල ඖෂධීය හා පෝෂණීය ගුණ

🔶. කැල්සියම්, පොස්පරස්, විටමින් (A සහ C), යකඩ හා තන්තු බහුල වේ.
🔶. හෘදරෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි.
🔶. ආහාර අජීර්ණය, කෑම අප්‍රිය වීම, බඩගින්න නැතිකම, බඩේ කැක්කුම, සර්ප විෂ, පණුරෝග, වමනය, කරකැවිල්ල, බඩ පුරවා දැමීම ආදී බොහෝ ලෙඩ දුක් තුරන් කරයි.
🔶. හිසකෙස් හා සම නීරෝගී කරවයි.
🔶. පිළිකා සෛල නසයි.
🔶. වයසට යාම ප්‍රමාද කරවයි.
🔶. ඇස් පෙනීමේ හැකියාව දියුණු වෙයි.
🔶. ශරීරයේ විෂ ඉවත් කරයි.
🔶. ප්‍රතිශක්තිය වැඩිකරයි.

ඉතින් ඔබට මේ සියලුම ගුණ නොඅඩුව ලබාදෙන ඉතා පහසුවෙන් සකසා ගත හැකි ඖෂධ ගුණය එලෙසින්ම සුරැකුනු ඉතා ගුණවත්, රසවත් කරපිංචා සම්බෝලය හරියටම හදා ගන්න හැටියි අද කියලා දෙන්න යන්නේ. ඉන්දියාවේ අයට එයාලගේ කොත්තමල්ලි චට්නි එක, පකිස්තානයේ අයට මින්චි චට්නි එක, ඉතාලියේ අයට ඔලිව් ඇට චට්නි එක තියෙනවා වගේ ලංකාවේ අපිට තියෙන්නේ මෙන්න මේ රසගුණ නොඅඩුව ඇති කරපිංචා චට්නි එක තමයි.

ඉතින් අඩුම තරමේ අවුරුදු 30 දි ඉඳලවත් ඔබ මේ රසවත් කරපිංචා සම්බෝලයෙන් මේස හන්දක් බත් පිඟානේ කොනකින් තබාගෙන දිනපතා දහවල් ආහාරයත් සමඟ ගන්නවා නම් ලක්ෂ 09 ක් 10 ක් වෙන බයිපාස් සැත්කමකිනුත් බේරිලා කිසිම ලෙඩක් දුකක් නැතිව අවුරුදු 80 ක පරමායුෂ භුක්ති විඳින්න පුළුවන්.

🔴 රසවත් ගුණවත් කරපිංචා සම්බෝලය

  අවශ්‍ය ද්‍රව්‍ය

🔸අලුත් කරපිංචා කොළ කෝප්ප 01 යි
🔸අලුත ගාගත් පොල් කෝප්ප 1/2 යි
🔸ලියාගත් රතු ළූණු කෝප්ප කාලයි ( මේ සම්බෝලයට බී ලූණු දාන්න එපා. රතුළූණු ම දාන්න. එය ඉතා ගුණදායකයි.)
🔸සුදුළූණු බික් 04 යි
🔸ඉඟුරු අඟල් කාලක කැබැල්ලයි
🔸අමුමිරිස් එක කරලයි
🔸දෙහි බෑයක යුෂ
🔸ගම්මිරිස් ඇට 05 ක් 06 ක්
🔸රස අනුව ලුණු

සාදාගන්නා ආකාරය

01). කරපිංචා සම්බෝලය හදනවා නම් බ්ලෙන්ඩරයේ හදන්නත් පුළුවන්. නමුත් හැකිනම් එය කුඩා වංගෙඩියක හදාගන්න. ගල් වංගෙඩි නැතත් පොඩි ලී වංගෙඩියක් ගෙදර තියාගන්න. ඒක උයද්දී අවශ්‍යම දෙයක්.

02). මේ ලී වංගෙඩියට මුලින්ම කරපිංචා ටික දමා සෙමෙන් සෙමෙන් කොටන්න ගන්න. පසුව එයට ටිකෙන් ටික රතුළූණු, අමු මිරිස්, සුදුළූණු, ගම්මිරිස් ඇට එකතු කරන්න. නමුත් පොල් දමන්න එපා. දෙහි සහ පොල් හැරෙන්නට අනිත් සියලුම දේ දමා හොඳින් කොටන්න.

03). කරපිංචා ටික හොඳින් කෙටුනු පසුව එයට පොල් ටික ටික දමා කොටන්න. අවසානයට මේ සියල්ල වංගෙඩියෙන් ගෙන බෝල් එකකට දමා ලුණු මදිනම් ලුණු දමා හොඳ දෙහි බෑයක් මිරිකන්න.

මේ කරපිංචා සම්බෝලය ගොඩක් වෙලා තියන්න එපා. කන්න ලං වෙලා හදාගන්න. ඕනම කරියක් සමග කරපිංචා සම්බෝලය රසට කන්න පුළුවන්.

© All Rights Reserved

Post a Comment

0 Comments