නාන වෙලාවට කරන කෙස් කළඹ නීරෝගී කරවන සත්කාර

 

කෙස් කලඹ ලස්සනට නිරෝගීව තියාගන්න ඇත්තටම කවුද අකමැති. ගැහැණු පිරිමි කියලා භේදයක් නෑ ලස්සන, නිරෝගී සුන්දර කෙස් කලඹකට උරුමකම් කියන්න හැමෝම ආසයි. ඒත් අපේ කාර්‍යබහුල ජීවන රටාව, පෝෂණීය සත්කාර නොමැතිකම වගේ බොහෝ හේතු සාධක ලස්සන කෙස් කලඹක සිහිනයෙන් දිනෙන් දින අපව ඈත් කරවනවා.

ඉතින් මේකට තියෙන හොඳම විසඳුම තමයි එදිනෙදා පහසුවෙන් සරලව කරගත හැකි පෝෂණීය සත්කාර භාවිතා කිරීම. දිනකට විනාඩි 20ක් 30ක් වගේ පුංචි කාලයක් වැය කරලා ඒ වගේ පෝෂණීය සත්කාරයක් කරගන්න නිරෝගී කෙස් කලඹක සිහිනය දකින කිසිම කෙනෙක් අකමැති වෙන එකක් නම් නෑ. ඉතින් අද අපි ඔබට කියලා දෙන්නේ අන්න ඒ වගේ විශිෂ්ඨ ප්‍රතිඵල ගෙන දෙන පෝෂණීය සත්කාර කිහිපයක්. මෙම හිසකෙස් පෝෂණය කරන සත්කාර වලින් ඔබත් උපරිම ඵල නෙලාගන්න. ලස්සන නිරෝගිමත් කෙස් කලඹකට ඔබත් උරුමකම් කියන්න.

හිසට කරන පෝෂණීය සත්කාර...

🔴 පළමු සත්කාරය

කොහොඹ කොළ යුෂ, කෝමාරිකා යුෂ සහ ඔලිව් ඔයිල් මිශ්‍ර කර හිසේ ආලේප කරන්න. ඉන්පසුව හිස හොඳින් සම්බාහනය කරන්න. පසුව ස්නානය කරන්න. හිසකෙස් වලට මෙමගින් පෝෂණයක් ලැබෙනවා මෙන්ම හිසහොරි පවතී නම් ඉවසීම ද සිදුවෙනවා.

🔴 දෙවන සත්කාරය

උළුහාල්, කළුදුරු, පොල් කිරි (මිටිකිරි) සහ කහ ස්වල්පය බැගින් ගන්න. එය රත් කරන්න. ඉන්පසුව එයට දෙහි ලෙලි කිහිපයක්ද එක්කර බ්ලෙන්ඩර් කරන්න. මේ ස්නානයට පැය 1/2 කට පෙර හිසට යොදන්න. පලුදු වූ හිසකෙස් සහිත අයට නීරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට මෙම සත්කාරය ඉතා ගුණදායකයි.

🔴 තුන්වන සත්කාරය

කොහිල දළු බ්ලෙන්ඩර් කරන්න. එයට නැවුම් කිරි ස්වල්පයක් ද යොදා හිසෙහි ආලේප කරන්න. විනාඩි 20 කින් පසුව සෝදා ඉවත් කරන්න.

🔴 හතර වන සත්කාරය

තැඹිලි මද බ්ලෙන්ඩර් කරන්න. එය තැඹිලි වතුරට එකතු කර හිසට යොදන්න. ඉන් පසුව හිස හොඳින් සම්බාහනය කරන්න. පැය භාගයකින් පසු ස්නානය කරන්න.

🔴 පස්වන සත්කාරය

ගොඩපර තලා තළා ඒ යුෂට ඔලිව් ඔයිල් සහ මී පැණි ස්වල්ප බැගින් එකතු කරන්න. එය හිසට යොදා හිස හොඳින් සම්බාහනය කර පසුව ස්නානය කරන්න.

🔴 හයවන සත්කාරය

කෝමාරිකා සහ බෙහෙත් නෙල්ලි බ්ලෙන්ඩර් කරන්න. දැන් එයට පිරිසිදු පොල්තෙල් මේස හැඳි 02 ක් එකතුකර  එය හිසට යොදා හිස සම්බාහනය කරන්න. විනාඩි 20 කින් පසුව ස්නානය කරන්න.

🔴 හත්වන සත්කාරය

වියළි නෙල්ලි ගෙඩි කිහිපයක් ගෙන තම්බන්න. එම වතුර පෙරා එමඟින් හිස සෝදන්න. මෙම සත්කාරයෙන් කොණ්ඩයට මනා පෝෂණයක් ලැබෙනවා.

🔴 අටවන සත්කාරය

බිත්තර සුදු මදයකට ද යකට දෙහි යුෂ ස්වල්පයක්, සැර රහිත ෂැම්පු වර්ගයක් යොදා මිශ්‍ර කරන්න. එය හිසට යොදා හිස හොඳින් සම්බාහනය කරන්න. මෙය ඔබට දෛනිකව ස්නානය කරන විට ෂැම්පු එකක් ලෙස භාවිතා කළ හැකියි.

🔴 නමවන සත්කාරය

අනෝදා මද මිටක් පමණ ගෙන බ්ලෙන්ඩර් කරන්න. ඉන්පසුව එහි යුෂ පෙරා ගන්න. එයට මී පැණි සහ ඔලිව් ඔයිල් ස්වල්පය බැගින් එකතු කරන්න. දැන් එය හිස ගල්වා හිස හොඳින් සම්බාහනය කරන්න. විනාඩි 20 කින් පසුව ස්නානය කරන්න.

‍👧‍ තොරතුරු :- ඉරේෂා කල්හාරි සේනාධීර මහත්මිය
© All Rights Reserved

Post a Comment

0 Comments