නිරෝගිමත් කෙස් කළඹක සිහින මවන ඔබ වෙනුවෙන්

 

කෙනෙකුගේ රූප සම්පත්තිය පුද්ගල පෞරුෂය කෙරෙහි ඍජුවම බලපාන සාධකයක් ලෙස අද සමාජයේ බොහො දෙනා පිලිගන්නා මතයකි. මේ හේතුව නිසාම ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව බොහෝ දෙනෙක් තමන්ගේ රූපය අන් අයගේ ආකර්ෂණයට ලක්වන ලෙස පවත්වාගෙන යාමට උත්සහවන්ත වේ. සම, කෙස්, මාංශ පේෂි, දත් යන ඒවා නිරෝගීව හා අලංකාරවත්ව පවතින කෙනෙක් අන් අයගේ අකාර්ෂණයට ලක්වීම ස්වභාවිකවම සිදුවේ.

මේ අතරින් අද අප කතාකරන මාතෘකාවට මුලික වන්නේ කේශ කල්‍යාණියයි. සුන්දර නීරෝගිමත් කෙස් කලඹක් කාන්තාවකගේ රූපසම්පත්තිය තව තවත් වැඩි දියුණු කරයි. කේශ කල්‍යාණිය පිරිමි අය සඳහාද එක සේ බලපානු ලබන්නේ තට්ටය පෑදීම වැනි තත්ත්ව පුද්ගල පෞරුෂය කෙරෙහි ඍජුවම බලපාන නිසාය.

අවාසනාවකට බාහිර හා අභ්‍යන්තර හේතු කාරණා නිසා පුද්ගලයන්ට රුපලාවණ්‍ය සම්බන්ධ විවිධ රෝගී තත්තව ඇතිවිම සුලභ ගැටලුවක් වී ඇත. ඒ අතරින් කෙස් ආශ්‍රිත රෝගී තත්ව නිසා බොහෝ දෙනෙක් පීඩා විඳිනු ලබයි. අකලට හිස කෙස් වැටීම, අකලට හිස කෙස් පැසීම, කෙස් අග පැලීම, කෙස් රළු වීම හා හිස්හොරි බහුල වශයෙන් දක්නට ලැබෙන රෝගි තත්ත්වයන්‍ ය. මේ අතරින් අකලට හිසකෙස් වැටීම ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයම එක හා සමානවම පීඩා විඳින රෝගී තත්ත්වයකි .
හිසකෙස් ගැලවී යාමේ අභ්‍යන්තර සෞඛ්‍ය තත්වත්, බාහිර පරිසර සාධකත් මෙන්ම අප එදිනෙදා ජිවිතයේ සිදුකරනු ලබන වැරදි විහරණත් බලපානු ලබයි.

🔴 බාහිර සාධක

🔸දැඩි හිරු එළියට නිරාවරණය වීම
🔸වැඩිපුර ක්ලොරින් අඩංගු ජලය ස්නානය
🔸අධික සිතල හා උෂ්ණ දේශගුණය
වැනි තත්තව දැක්විය හැක.

🔵 වැරදි විහරණ

වර්තමානය වන විට කොණ්ඩය අශ්‍රිතව සිදු කරන විවිධාකාර වූ රූපලාවණ්‍යය මොස්තර සඳහා වැඩි ඉල්ලුමක් පවතී. ස්වභාවිකව පවතින කොණ්ඩයෙහි ස්වභාවය වෙනස් කරමින් කොණ්ඩය රැළි කිරීම, දිග හැරීම, වර්ණය වෙනස් වීම වැනි ප්‍රතිකර්ම සඳහා විවිධාකාර වූ රූපලාවණ්‍යය ආලේපන වර්ග භාවිතා කරනු ලබයි. මේවායෙන් බොහෝමයක් කෘතිම රසායන වර්ග අඩංගු ඒවාය. ඒවා හිසකෙස් සදහා භාවිතා කිරිම මඟින් හිස් කබලට මෙන්ම හිස කෙස් වලටද හානි සිදුවීම නිසා හිසකෙස් කැඩීයාම, වියළීම, හිසකෙස් වැටීම වැනි තත්තව සුලභවම ඇතිවිය හැක.

සුදු කෙස් කළු කිරිම සදහා භාවිතා කරන ඩයි වර්ග වල අඩංගු ppd (praphenyle diamine ) වැනි රසායනිකයන් මඟින් හිස ආශ්‍රිත ආසාදනයන් ඇති කරන අතර එමනිසා කෙස් ගස් වලට හානි වී ඒවා කැඩීයාම හා කේෂ මූලය දුර්වල වීම නිසා හැලීයාමට ලක් වේ. රාත්‍රී කාලයේ ස්නානය, අධික සීතල හා උණු ජලය ස්නානය නිසාද ස්නානය කල විගස තෙත කොණ්ඩය පිරීම, නිතර කෙස් වලට විවිධ මොස්තර යෙදීම කෘතිම රසායනික යෙදු ෂැම්පූ ස්ප්‍රේ වර්ග තෙල් වර්ග භාවිතය යන හේතු නිසා හිසකෙස් වලට හානි වී හිසකෙස් ගැලවී යාම සිදු වේ.

අභ්‍යන්තර සෞඛ්‍ය තත්වය, හිසට සිදු කරන ශල්‍ය කර්ම, මානසික ආතතිය වැනි තත්ව මෙන්ම පාණ්ඩු රෝගය, පීනස් රෝගය, රක්ත හීනතාවය, ක්ෂය රෝගය වැනි රෝග අවස්ථාවලදී ද හිසකෙස් ගැලවී යාම දක්නට ලැබේ. තව ද කාන්තාවකගේ සිරුරේ පිරිමි හෝමෝන වැඩි වීමේ රෝගී තත්ත්වය නිසා ද, ගර්භනී කාලයේ මෙන්ම මෙන් ම  තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගී තත්ත්ව නිසාද, ශරීරයේ සිදුවන හෝමෝනමය බලපෑම මඟින් හිසකෙස් ගැලවී යාම සිදු වේ. අවේලාවේ ආහාර ගැනීම, දිරවීමට අපහසු ආහාර ගැනීම, රසකාරක යෙදූ ආහාර හා එක් ආහාර වේලක් දිරවීමට ප්‍රථම තවත් ආහාර වේලක් ගැනීම වැනි වැරදි ආහාර පුරුදු නිසා අප පරිභෝජනය කළ ආහාර වලින් වැඩි කොටසක් විෂ බවට පත්ව ශරීරයේ විවිධ ලෙඩ රෝග ඇති කරනු ලබයි. මෙලෙස ඇතිවන විස කොටස් කේශ මූලයන් ආශ්‍රය කිරීම නිසා හිසකෙස් වැටීම වැනි රෝග තත්ත්ව ඇති කරයි.

සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුගේ හිසකෙස් වර්ධනය මසකට 1cm ක ප්‍රමාණයකි. කෙස් ගසක උපරිම ආයු කාලය අවුරුදු 2 - 7ත් වන අතර එම කාලය ගත වූ පසු කෙස්ගස් ගැලවී ගොස් එම කේශ මූලයන්ගෙන් අලුත් කෙස් ගසක් නැවත හටගනී. දිනකට කෙස් ගස් 100ක් වැනි ප්‍රමාණයක් ගැලවී යාම සාමාන්‍ය තත්වයක් වන නමුත් ඊට වඩා වැඩි අවස්ථාවකදී ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

මොනවද මේ සඳහා අපට තිබෙන සාර්ථක ප්‍රතිකර්ම

අකලට හිසකෙස් ගැලවීයාමේ රෝගය ආයුර්වේදීය ප්‍රතිකාර මඟින් ඉතා සාර්ථක ලෙස පාලනය කළ හැකියි. මේ සඳහා විවිධ වූ ප්‍රතිකර්ම ක්‍රම රාශියක් උපයෝගී කර ගන්නා අතරම අභ්‍යන්තර ඖෂධ වර්ග හා බාහිර ප්‍රතිකාර ක්‍රම උපයෝගී කරගනිමින් චිකිත්සාව සිදු කරනු ලබයි.

ශරීරයේ කුපිත වූ වාත ආදී දෝෂ මෙන්ම දූෂිත වූ රුධිර පිරිසිදු කිරීමත් රක්තහීනතාව හා කැල්සියම් යකඩ වැනි ඛණිජ ලවණ හීන අවස්ථාවලදී ඒවා ශරීරයට ලබා දීමත් අභ්‍යන්තර ප්‍රතිකාර මඟින් සිදු කරයි. එසේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු වී ඇති අවස්ථා වලදී ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන රසායන ඖෂධ ලබාදීම සිදු කරයි. හිසකෙස් වැටීම සඳහා සිදුකරනු ලබන බාහිර ප්‍රතිකර්ම මඟින් ඉතා කෙටි කාලයක් තුළ දී සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. මේ අතරින් ශීර්ෂ අභ්‍යංග ඉතා ප්‍රතිඵලදායක චිකිත්සීය ක්‍රමවේදයකි. ඖෂධ ගුණයෙන් යුත් තෙල් වර්ගයක් හිසට වත් කොට නිසි ලෙස සිදුකරන සම්බාහනය මඟින් හිසට හොඳ රුධිර සැපයුමක් ලැබෙන අතරම යොදා ගන්නා තෙල් වල අඩංගු ඖෂධීය ගුණය හිසකෙස් වලට උරා ගැනීමද සිදුවේ. එසේම හිස් කබලෙහි වියළි බව දුරුවී හිස්සොරි වැනි තත්ව මඟ හැරී යයි. ශීර්ෂ අභ්‍යංගය මඟින් මානසික ආතති තත්ව දුරු වී හිසකෙස් වැටීම පාලනය කරනු ලබයි.

🔴 ශිරෝ ලේප

මෙය හිසකෙස් වැටීම සඳහා සිදුකරන තවත් සාර්ථක ප්‍රතිකර්මයකි. හොඳින් තෙල් සම්බාහනය සිදු කරගත් හිසෙහි ඖෂධීය ද්‍රව්‍ය යොදාගනිමින් සාදාගත් පල්පය ආලේප කර විනාඩි 20 ක් පමණ කාලයක් තබා සෝදා හැරීම සිදු කරයි. මේ සඳහා අරළු, බුළු, නෙල්ලි, උළුහාල්, අමුක්කරා, මරතොණ්ඩි කොළ, කෝමාරිකා, මුකුණුවැන්න, පොකුරු වදමල් වැනි කේශ වර්ධනය කරන ඖෂධ වර්ග යොදා ගනියි.
සියුම් ධාරාවක් ලෙස විනාඩි 40 ක් හෝ පැයක පමණ කාලයක් මද උණුසුමින් යුතු ඖෂධීය තෙලක් ක්‍රමානුකූලව නළලට වැටීමට සැලැස්වීම ශීරෝධාරා ප්‍රතිකර්මය ලෙස හඳුන්වයි. මෙම ප්‍රතිකාරයද හිසකෙස් වැටීම සඳහා මෙන්ම අකලට හිසකෙස් වැටීම, මානසික ආතති තත්ව, හිස්කබල ආශ්‍රිතව ඇතිවන චර්ම රෝග තත්ත්ව සඳහා ඉතා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්ම ක්‍රමයකි.

මේ සියලු ප්‍රතිකර්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීමෙන් අනතුරුව තමාට පවතින රෝගී තත්ත්වය අනුව කළ යුතු ප්‍රතිකර්ම සිදු කර ගැනීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

👩‍⚕️ සටහන :- ආයුර්වේද වෛද්‍ය W.T.M.G. උදාරි පෙරේරා BAMS (Hons) Kelaniya
📞 0776665521
© All Rights Reserved

Post a Comment

0 Comments