ඉන්දියන් චීස් හෙවත් පනීර් හදමු

 

ඉන්දියාව කියන්නේ හරිම සරුසාර ආහාර සම්ප්‍රදායක් තිබුණු තියෙන රටක්. බටහිර රටවල් චීස් හොයාගන්න කලින් ඉන්දියාව චීස් හොයාගත්තා. ඒ ඉන්දියන් පනීර්. පනීර් කියන්නේ චීස් වලත් එක අවස්ථාවක්.

ඉන්දියාවේ සියයට තිහක් වෙජිටේරියන් අයයි. ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලන්නේ මේ රසවත් ඉන්දියන් චීස් එකයි.

පනීර් රසවත් ඉන්දියන් කරි, බැදුම්, බිරියානි, පුලාවෝ සහ අතුරුපස බඳුන් රැසකටම දායක වෙනවා. ඒ අතර පනීර් ටික්කා මසාලා, පනීර් සබ්සි, පනීර් දම්සක්, කඩෙයි පනීර්, පනීර් මන්චූරියල් වැනි ආහාර බඳුන් ගණනාවක්ම තියෙනවා. මේ සියල්ලටම කලින් මේ හැමදේම රසවත් කරන්න දායක වන මේ රසවත් ඉන්දියානු චීස් එක හදාගන්නෙ කොහොමද කියලා අද අපි ඉගෙන ගමු.

පනීර් කියන්නේ සම්පූර්ණයෙන්ම කිරි වලින් හදන චීස් එකක්. චීනයේ හදන ටෝෆු එකත් මීට බොහෝ සෙයින් සමානයි. නමුත් ටෝෆු හදන්නේ සෝයා කිරි වලින්. ඇත්තටම ටෝෆු වලට වඩා රසවත් කිරි රසයක් මේ පනීර් වල තියෙනවා.

කුඩු කරගත් පනීර් වලින් ලඩ්ඩු හදනවා. ඒ වගේම පනීර් දමා රසවත් අතුරුපස රැසක් හදාගන්වා. පනීර් සාදාගැනීම කිරි වලින් ජලය වෙන් කිරීමේ රසායනික ක්‍රියාවලියයි. මේ රසායනික ක්‍රියාවලිය කරන්නේ කොහොමද? කිරි වලින් ජලය වෙන් කිරීම සඳහා කැටි ගැසීමේ කාරකයක් කිරි වලට එකතු කරන්නට සිදු වෙනවා. මේ කැටි ගැසීමේ කාරකය ලෙස ඉන්දියාවේ භාවිතා කරන්නේ විනාකිරි හෝ දෙහි යුෂයි.

ඉන්දියාවේ හැම නිවසකම පනීර් හදනවා. මොකද ඒක එයාලගේ දිනපතා පාවිච්චියට අවශ්‍ය නිසා. ඉන්දියානුවන් ඉතාම ලස්සනයි. විශේෂයෙන් උතුරු ඉන්දියානුවන්ගේ සමේ විශේෂ පැහැයක් තියෙනවා. සියවස් ගණනාවක සිට කිරි, මුදවපු කිරි, පනීර්, ගිතෙල්, මී පැණි කාපු ඉන්දියානුවන්ගේ සමේ පැහැය එක්ක මේ ආහාර පුරුද්ඩ්ගේ සම්බන්ධයක් තියෙන්නට පුළුවන්. කොහොම වුනත් අපි වෙනදා වගේ දේශීය ආහාර වෙනුවට අද රසවත් ගුණවත් ඉන්දියන් පනීර් හදන්නත් ඉගෙන ගමු.

🔴 පනීර් සෑදීම සඳහා අවශ්‍ය දේවල්

🔶. කිරි ලීටර් 02 ක් - පනීර් සෑදීම සඳහා සම්පූර්ණ යොදය සහිත දියර කිරි අවශ්‍ය වෙනවා. කොළඹ ඇති සියලුම ඉන්දියන් අවන්හල් පනීර් හදන්නේ හයිලන්ඩ් කිරි වලිනුයි. ඔබටත් එයම ගන්නට පුළුවන්
🔶. අලුත් කිරි හට්ටිය කින් ගත් මුදවපු කිරි මේස හැඳි 02 ක්
🔶. දෙහි ඇඹුල් තේ හැඳි 01 ක්
🔶. අයිස්කැට කෝප්පය 1/2 ක්

🔴 සාදාගන්නා ආකාරය

01). පිරිසිදු සාස්පානක් ගන්න. කිරි සමඟ ගනුදෙනු කරන හැම අවස්ථාවකම විෂබීජ ගැනත් සිතන්න. ඒ නිසා හැම විටම ගන්නා බඳුන් හොඳින් පිරිසිදු කරගන්න. දැන් මේ බඳුනට කිරි දමන්න.

02). ලිපේ තබා කිරි රත් කරන්න. කිරි උතුරාගෙන එන විට ලිපේ ගින්දර ඉතාම අඩු කරන්න.

03). දැන් මුදවපු කිරි තේ හැඳි කාල බැගින් ටික ටික එකතු කරන්න. දිගටම හැඳිගාන්න. ඒ අතර දෙහි බිංදු කිහිපයක් ද මුසු කරන්න.

04). මුදවපු කිරි සම්පූර්ණයෙන්ම දමා අවසාන කරන්න. දිගටම හැඳි ගාන්න. දෙහි බිංදු කිහිපයක් යළිත් දමන්න. මේ අවස්ථාව වන විට කිරිවල සුදු පැහැය වෙනස් වී ලා කහ පැහැයකට හැරී කිරි තැනින් තැන කැටි ගැසෙනවා ඔබට පෙනේවි.

05). දැන් වහාම කිරි සාස්පාන ලිපෙන් ගන්න. දිගටම හැඳිගාන්න. මේ අවස්ථාවේදී අයිස් කැට කෝප්ප භාගයක් වහාම කිරි වලට දමන්න. එසේ කරන්නේ තවදුරටත් කිරි උණු වීම වළක්වන්නයි. එසේ නොවුන හොත් අපට ලැබෙන පනිර් රබර් වගේ වෙනවා.

06). දැන් විනාඩි 10ක් පමණ කිරි කැටි ගැසෙන්නට දෙන්න.

07). දැන් සාස්පානක් ගෙන එයට හොඳ පිරිසිදු ලොකු කපු රෙදි කෑල්ලක් දමන්න. ඉන්දියන් ගෙවල්වල මේ සඳහාම ඇති මස්ලින් ක්ලෝත් නම් පෙරහන්කඩක් තිබෙනවා. අපි කපු රෙදි කෑල්ලක් පාවිච්චි කරමු.

08). දැන් කිරි ටික පෙරා ගන්න. එහිදී ඔබට පෙනේවි පෙරහන් කඩේ කැටි ගැසුණු කිරි රැඳී වතුර ඉවත් වී යනවා. අපි කලේ කිරිවල ඇති ඝන කොටස හෙවත් milk solids කිරි වලින් වෙන්කර ගැනීමයි.

09). දැන් මේ පෙරහන්කඩේ එකතු වූ කැටි ගැසුණු කිරි වලට වතුර කෝප්ප දෙකක් දමා සෝදන්න. පෙරහන්කඩ සාස්පාන මත තිබියදීම එය කළ යුතුයි.

10). දැන් පෙරහන්කඩේ කොන් එකතු කරන්න. එකතු වූ කැටි ගැසුණු චීස් කැබලි එක පොට්ටනියකට එකතු කරන්න. හොඳින් තද කරන්න. දැන් මේ චීස් පොට්ටනිය පිරිසුදු ලෑල්ලක් මත තබා ඒ මත තවත් ලෑල්ලක් තබා එය උඩින් කිලෝ දෙක තුනක බරක් තබන්න. මෙසේ කිරීමෙන් චීස් වල තවත් වතුර තිබේ නම් ඒවාද ඉවත් වෙනවා.

පැයකට පමණ පසුව පෙරහන්කඩ ඉවත් කරන්න. ඔබට ලස්සන චීස් බෝලයක් ලැබෙයි. දැන් එය ලස්සනට කපාගෙන කැමති වට්ටෝරුවකින් හදාගන්න.

දැන්මම පාවිච්චි කරන්නේ නැත්නම් පොලිතීන් වලින් හොඳට වසා ශීතකරණයේ තබන්න. වඩාත් කාලයක් තබාගන්නවා නම් අධිශීතකරණයේ තබන්න.     

‍📗 මූලාශ්‍රය :- indian food book
© All Rights Reserved

Post a Comment

0 Comments