ගර්භණී මවට ආයුර්වේදීය උපදෙස්

 


🌸 ගර්භණී කාලය

පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා කාලය ගර්භණී කාලයයි.

🌸 ලක්ෂණ

කාන්තාවක් ගැබ් ගෙන ඇත්දැයි මුල් දින වලදී එක්වරම නිශ්චය කළ නොහැකිය.

ගැබ් ගත් බව අනුමාන කළ හැකි ලක්ෂණ

🔸ශරීරයේ බර බව
🔸ශරීරයේ වෙහෙසකර ස්වභාවය
🔸නිදිමත ගතිය
🔸ක්‍රමානුකූලව මාස් ශුද්ධිය සිදුවන කාන්තාවකගේ මාස් ශුද්ධිය නැවතීම
🔸උදෑසන වමනය, ඔක්කාර ගතිය
🔸කෑම අරුචිය
🔸ඇඹුල් රසට කැමති වීම
🔸පියයුරුවල වෙනස්කම්. පියයුරු අවට ප්‍රදේශය ක්‍රමයෙන් තද පැහැ වීමත්, පියයුරු ප්‍රමාණයෙන් විශාල වීමත්, පිරුණු බවත් ඇති වේ
🔸උදරය ක්‍රමයෙන් විශාල වීම
🔸සංවේදන දැනීමේ වෙනස්කම්
උදා:- ප්‍රසන්න ගන්ධයන් අප්‍රසන්න ලෙස දැනීම
🔸සතුටු සහගත බව

ඉහත ලක්ෂණ සියල්ලම නොමැති වුවත් අඩු වැඩි වශයෙන් සෑම ගර්භණියකටම ඇතිවේ.

ගර්භණීභාවය තහවුරු කර ගැනීම

මෙවැනි ලක්ෂණ ඇත්නම් හෝ මාස් ශුද්ධිය නතර වී ඇත්නම් මුත්‍ර පරීක්ෂණයක් මගින් ඉතා පහසුවෙන් ගර්භණීභාවය තහවුරු කරගත හැකියි.

🔴 නිරෝගී බුද්ධිමත් සිඟිත්තෙක් බිහි කරන්නට සිහින දකින ඔබ...

සතුටින් සිටින්න

ගර්භණී සමයේදී ශරීරයේ ඇතිවන සුළු අපහසුකම්, වේදනා එතරම් බැරෑරුම් ලෙස නොගෙන කෘතිම ඖෂධ වලින් හැකි තරම් වැළකී සතුටින් සිටීම දරුවාගේ නීරෝගී වර්ධනයට හේතු වේ.

එසේම ගැබිණි මවගේ මානසික සතුට වර්ධනය වන පරිදි සබඳතා පවත්වාගෙන යාම පවුලේ අනෙක් සියලු සාමාජිකයන්ගේද වගකීමයි. මෙහිදී ස්වාමිපුරුෂයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල මවගේ මෙන්ම දරුවාගේ නීරෝගී භාවයටද ඉතා වැදගත්ය.

ආහාර ගැන සැලකිලිමත් වන්න

ගර්භණී සමයේදී පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් ලබා ගැනීමද අතිශය වැදගත් ය. එහිදී කිරි, ධාන්‍ය වර්ග, අලුත් එළවළු, පලතුරු පලතුරු, පලා වර්ග, කුඩා මාළු, බිත්තර ආදිය ආහාරයට එක්කර ගත යුතුය. එසේම කෘතිම හා ක්ෂණික ආහාර, රසකාරක හා වර්ණකාරක යෙදූ ආහාර වර්ග ගැනීමෙන් හැකිතාක් දුරට වැළකීමද ඉතා වැදගත්වේ.

ගැබිණි සමයේදී යම් යම් දේ කෙරෙහි විශේෂ කැමැත්තක් ඇතිවීම ස්වභාවිකයි. එය "දොළදුක" යනුවෙන් ව්‍යවහාර වේ. මෙසේ ඇතිවන ආශාවන් සංසිඳුවීම නිරෝගී දරුවෙක් බිහි කරලීම සඳහා වැදගත් වන බව ආයුර්වේදයෙහි පිළිගැනීමයි. 

පිරිසිදුව ඉන්න

ගර්භණී සමයේදී වෙනදාටත් වඩා පිරිසිදුකම ගැන සැලකිලිමත් වීම වැදගත්. විශේෂ රෝගී තත්වයක් නොමැති නම් දිනපතා ස්නානය කරන්න. ඒ සඳහා බෙලි කොළ, එරඬු කොළ, නික කොළ, පාවට්ටා කොළ, වෙනිවැල්ගැට, සුදු හඳුන් ආදී ද්‍රව්‍ය යොදා තම්බාගත් ජලය වඩා සුදුසුය. ඒවායින් ගැබිනි සමයේදී ඇතිවන නොයෙක් වේදනාවන් හා අපහසුතාවයන් මඟහරවා ගත හැකිය. එසේම පිරිසිදු ඇඳුම් අඳින්න. විශේෂයෙන් වැසිකිළි යාමෙන් පසුවත්, යට ඇඳුම්වල පිරිසුදු භාවය කෙරෙහිත් සැලකිලිමත් වන්න. ලස්සනට හිස පීරන්න. ප්‍රියමනාපව ඉන්න.

උචිත ඇඳුම් පැලඳුම් තෝරා ගන්න

ඇඟට හිර නොවන ලා පැහැති නිල් ඇඳුම් සකසා ගන්න. පැතලි අඩි සහිත පාවහන් පළදින්න.

හොඳින් නිදන්න

ගැබිණි සමය තුළ පැය 08ක් 10ක් පමණ නිදන්න. සවස් කාලයේ පැයක පමණ විවේකයක් ලබා ගන්න. මේ කාලය තුළ අධිකව නිදිවැරීම නුසුදුසුය.

මුඛ සෞඛ්‍යය රැකගන්න

මුඛය පිරිසිදුව තබා ගැනීමට වෙනදාට වඩා සැලකිලිමත් වන්න. දත් හා විදුරුමස් රෝග පිළිබඳව අවධානයෙන් ඉන්න. අවශ්‍ය අවස්ථා වලදී වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ව්‍යායාම

මේ කාලයේදී අධික ව්‍යායාම්, බර ඉසිලීම ආදිය නුසුදුසුය. එසේම විශේෂ රෝග තත්වයක් නොමැති නම් හෝ වෛද්‍ය නිර්දේශයක් නොමැති නම් නිතර විවේකයෙන් සිටීම හෝ නිදා ගැනීම අවශ්‍ය නොවේ. ගෙදර දොරේ සාමාන්‍ය වැඩ කටයුතු වල වෙනදා මෙන් නිරත වන්න.   

පියයුරු ගැන සැලකිලිමත් වන්න

ගැබිනි සමයේදී පියයුරු ක්‍රමයෙන් විශාල වේ. ඒ නිසා පියයුරු තද නොවන ඇඳුම් තෝරා ගන්න. ඇතැම් විට ඔබේ තනපුඩු වලින් දියරයක් ස්‍රාවය වනවා ඇති. ගර්භණී කාලයේ දී එය බොහෝ විට දැකිය හැකි සාමාන්‍ය තත්වයකි. එසේ ඇත්නම් තන පුඩු හොඳින් සෝදා පිරිසුදු කිරීම අවශ්‍ය ය. එසේම තනපුඩු ගිලී ඇත්නම් දවසට කිහිප වරක් ඇඟිලි වලින් අල්ලා ඉදිරියට සෙමින් අදින්න. එවිට ඔබේ සිඟිත්තාට පහසුවෙන් කිරි උරා බීම කළ හැකිවේ. ප්‍රසවයට ආසන්න මාස කිහිපය තුළදී තලතෙල් හෝ බලා තෙල් ආලේප කරමින් සෙමෙන් පියයුරු පිරිමදින්න.

දුර ගමන් සීමා කරන්න

ගැස්සෙන වාහන වල දුර ගමන් යාමෙන් වළකින්න. අධිකව ඇවිදීම, අධිකව තෙහෙට්ටු වන සේ ක්‍රියාකිරීම, වැටීම, පහර වැදීම් ආදියෙන් වළකින්න.

කම්පන හා මානසික පීඩනයන්ගෙන් ඈත් වන්න

අධික ශෝක ජනක අවස්ථාවන්, බිය ජනක අවස්ථාවන්, අප්‍රිය දර්ශන හැකිතාක් මඟ හරින්න. කේන්ති ගැනීම, ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, හැඬීම, අධිකව කල්පනා කිරීම අත්හරින්න.  

රෝග වලින් වැළකීමට හැකිතාක් උත්සාහ ගන්න

රෝගී වීම නිසා ඔබට වෙනදා මෙන් ආහාර ලබා ගැනීමට නොහැකි වේ. එය ඔබේ මනා පෝෂණයට බාධාවකි. එසේම ඇතැම් රෝග මෙන්ම ඇතැම් රෝග සඳහා ගත යුතු ඖෂධ කුසෙහි වැඩෙන දරුවාට හානිකර වේ. ඒ නිසා විශේෂයෙන් බෝවන රෝග වැළඳිය හැකි අවස්ථා වලින් මෙන්ම අනෙක් ඕනෑම රෝගයකින් ආරක්ෂා වීම ඔබේ වගකීමයි.

මත්පැන් හා දුම්වැටි වලින් වළකින්න

ශ්‍රී ලාංකික කාන්තාවන් අතර මත්පැන් හා දුම්වැටි භාවිතය සාපේක්ෂව අඩු වුවත් බොහෝ විට ඔවුන් අක්‍රිය දුම් පානයට ලක් වේ. එයද මවට මෙන්ම දරුවාටද හානිකර වේ. එබැවින් නිරෝගී දරුවකු පිළිබඳ ඔබ තුළ වූ සිහිනය සැබෑ කරගන්නට නම් දුම් පානය කරන පුද්ගලයන් අසලින් ඈත් වීම ද වැදගත් වේ.

කායික සබඳතා පැවැත්වීම

ගැබිනි සමයේ කායික සබඳතා පැවැත්වීමේ බලපෑම එකිනෙකාට වෙනස් වේ. පෙර ගබ්සා වීම් ඇත්නම් හෝ කායික සබඳතා වලදී යම් අපහසුතාවක් ඇත්නම් හැර අන් අයට දෙදෙනාගේ කැමැත්ත අනුව කායික සබඳතා පැවැත්වීමේ ගැටළුවක් නැත. නමුත් පළමු හා අවසාන මාස 03 තුළදී කායික සබඳතා සීමා කිරීම් හෝ වැළකීමේ වැදගත්කමක් ඇත. මේ පිළිබඳව ගැටළු ඇත්නම් සායන වලදී අවශ්‍ය උපදෙස් ලබාගත හැකිය. 

සොබාදහම විඳින්න

මුහුදු වෙරළට, මල් වත්තට විවේක ලැබෙන අවස්ථා වලදී යන්න. ගහකොළ, මල්, කුරුල්ලන්, සුන්දර දසුන් ඇති පරිසරය විවේකීව රස විඳින්න. එය ඔබේ මානසික සුවතාවයට මෙන්ම කුස තුළ වැඩෙන ඔබේ දරුවාගේ මානසික සංවර්ධනයට ද බෙහෙවින් ඉවහල් වේ.

දරුවාගේ දැඟලීම පිළිබඳව අවධානයෙන් ඉන්න

පළමු ගර්භ චලනය දැනෙන දිනය පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි. කුළුඳුල් දරුවා නම් සති 20 වන විට උදරය තුළ වතුර බුබුළු චලනය වනවා වැනි දැනීමක් ඇතිවේ.

සංගීතය රස විඳින්න

කලබල නැති මිහිරි සංගීතය රස විඳින්න. එවැනි ඇතැම් සංගීත භාණ්ඩ දරුවාගේ මානසික මෙන්ම මොළයේ වර්ධනයට ද හේතු වේ.

ආගමික වතාවත්වල යෙදෙන්න

සෑම දිනකම විනාඩි කිහිපයක් හෝ ගෙදරදීම ආගමික කටයුතු වල යෙදෙන්න. හැකි අවස්ථා වලදී පන්සල වැනි ආගමික ස්ථාන වලට යන්න. එම පරිසරය ඔබව නිවාලයි. දැහැමි සුභ සිතුවිලි ජනිත කරයි. එසේම එම පරිසරය දරුවාගේ ශාරීරික, මානසික හා බුද්ධියේ උසස් වර්ධනයට උපකාරී වේ.

🔴 ඔබේ නව සිඟිත්තා පිළිගැනීමට සූදානම් වන්න

දරුවා පවුලට එක් වීමෙන් ඇතිවන නව සුන්දර පරිසරය ගැන සිතා ඊට උචිත අයුරින් පසුතලය සකසා ගන්න. මල්, ප්‍රිය උපදවන රූප  ලස්සන බිළිඳු රූප ආදියෙන් කාමරය සරසන්න.

කුසෙහි වැඩෙන දරුවා සමඟ කතා කරන්න. ආදරය කරන්න. නැළවිලි ගී කියා නලවන්න.

බිළිඳාට ඇඳුම් පැළඳුම් ඇතුළු අවශ්‍ය කරන දෑ සකසා ගන්න.

දරුවන් රැක බලා ගැනීම, ළමා මනෝ විද්‍යාව වැනි පොත් ආදිය කියවන්න.

පුංචි පැටියෙක් කියන්නේ ලොකු සම්පතක්. මේ පැටියව අපට ජීවිතේටත් වඩා වටිනවා. ඒ වගේමයි රටටත්. අපේ රටට බිහි වන නව රට වැසියා රටට හුඟක් වටිනවා. ඒ නිසා අපේ යුතුකම වෙන්නෙ නිරෝගී, බුද්ධිමත් දරුවෙක් මේ ලෝකයට දායාද කරන එක.

කාන්තාවක් ගර්භණී භාවය තහවුරු කරගත් වහාම ගමේ මාතෘ සායනයට මෙන්ම විශේෂඥ පහසුකම් ඇති රෝහලකට ද යා යුතු වේ.

සති 28 දක්වා මාසයට එක් වරක්ද, සති 28 සිට 35 දක්වා සති 02කට වරක් ද, ඉන්පසු සති 01කට වරක් ද සායන සඳහා සහභාගි විය යුතුය. සායන වලදී ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීමත්, ලබා දෙන ඖෂධ නිසි පරිදි ලබා ගැනීමත් වැදගත් වේ.

එසේම වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිදු ඖෂධයක් හිතුමතේ භාවිතා නොකළ යුතු අතරම වෙනත් අසනීපයකට ප්‍රතිකාර ගැනීමට ගිය විට හෝ වෛද්‍ය පරීක්ෂණයට යොමු වීමට පෙර තමා ගැබ් ගෙන ඇති බව එම වෛද්‍යවරයාට දැන්විය යුතුය.

🔴 ආයුර්වේද මාතෘ සායනයකින් ඔබට ඉටුවන සේවාවන් 

🔸මාතෘත්වය හා දරුවා හදා වඩා ගැනීම පිළිබඳව ඔබව දැනුවත් කිරීම හා ගැබිනි සමය සඳහා ඔබව ශාරීරිකව හා මානසිකව සූදානම් කිරීම.

🔸ගැබිනි සමයේ අවශ්‍ය කරන ඖෂධ, විටමින් හා එන්නත් ලබාදීම. විශේෂයෙන් එම සායන වලදී ලබාදෙන ආයුර්වේද ඖෂධ වලින් දරුවාගේ නිරෝගී බව, බුද්ධි වර්ධනය හා ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ හැකියාව ඇත.

🔸ගැබිනි මවගේ සෞඛ්‍ය තත්වය මෙන්ම දරුවාගේ නිරෝගී වර්ධනය පිළිබඳව නිරන්තරව සුපරික්ෂාකාරී වීම.

🔸ගැබිනියගේ උස, බර, රුධිර පීඩනය, මුත්‍ර, රුධිර පරීක්ෂාව හා අවශ්‍ය අවස්ථා වලදී විශේෂඥ වෛද්‍ය පරීක්ෂාව සඳහා යොමු කිරීම.

🔸පෝෂණය හා පරිචර්යා පිළිබඳව දැනුවත් කිරීම හා පෝෂණ පැකට් ලබාදීම.

🔸අවදානම් තත්ව හා ආබාධ කල්තබා හඳුනා ගැනීම හා අවශ්‍ය උපදෙස් හා සුදුසු ප්‍රතිකාර වලට යොමු කිරීම.

🔸ව්‍යායාම් ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම.

🔸රෝහලට එනවිට ගෙන ආ යුතු දේවල් පිළිබඳව දැනුවත් කිරීම.

🔴 අවදානම් සාධක

ගැබිනි බව ස්වභාවික තත්වයක් වුවද එහි යම් අවදානමක් ද නැතුවා නොවේ. අවදානම් සාධක කල්තියාම සායන වලදී හඳුනාගත හැකිවීම වැදගත්ය. ඒවා නම්,

🔸වයස අවුරුදු 18 ට අඩු හා 40 ට වැඩි
🔸BMI සාධකය 18 ට හා 35 ට වැඩි
🔸අවසන් ඔසප් දිනය නොදන්නා 
🔸දරුවන් 05ක් හෝ ඊට වැඩි ගණනක් ලැබූ
🔸උස 145cm ට අඩු
🔸ගබ්සාවන් 03ක් හෝ ඊට වැඩි ගණනක් සිදු වූ
🔸කලින් ගර්භණී භාවයන්හි දරුණු රෝග වැළඳුණු (උදා:- ගර්භ වලිප්පුව, දියවැඩියාව, අධික රුධිර පීඩනය)
🔸කලින් මළ දරු උපත්, අංගවිකල දරුවන් බිහිකළ, ප්‍රාග් පරිණත ප්‍රසව හෝ නවජාත ළදරු මරණ සිදු වූ
🔸කලින් ගර්භාෂයේ සැත්කම් කල ගැබිනියන් (උදා:- සිසෙරියන්)
🔸කලින් මානසික රෝග සෑදුණු අය
🔸පසු ප්‍රසව රක්තපාත හා අපරාව රැඳීම ආදී පූර්ව ප්‍රසව ඉතිහාසය ගැටළු සහිත

🔴 ගැබිනි සමයේදී කරනු ලබන පරීක්ෂණ වර්ග

🔹රුධිර ගණ පරීක්ෂාව
🔹VDRL/AIDS
🔹Hb%
🔹PPBS

පවුලේ මධුමේහය සම්බන්ධ ඉතිහාසයක් ඇත්නම් අවසාන මාස 03 තුළදී නැවත PPBS පරීක්ෂාවක් කරයි.

🔹UFR (සම්පූර්ණ මුත්‍ර පරීක්ෂණය)
🔹ස්කෑන් පරීක්ෂණය
අවශ්‍ය අවස්ථා වලදී මාස 03කට පෙර හා මාස 05 දී සිදුකරයි.

🔴 දරුවා බිහිකරන දින දැන ගැනීම

සෑම මවක්ම තම දරු ප්‍රසූතිය සිදුවන දිනය පිළිබඳව දැන සිටිය යුතුයි. ක්‍රමවත්ව ඔසප් වීම සිදුවන මවක් නම් අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දිනය පළමු දිනය ලෙස සලකා එතැන් සිට දින 280 ක් එකතුකර හෝ මාස 09 දින 07ක් එකතුකර දරුවා ලැබෙන දිනය ගණනය කළ හැකිය. නමුත් මෙම දිනයට සති 02කට පෙර හෝ සති 02කට පසුව යන අතර කාලය තුළදී ප්‍රසවය සිදුවිය හැකිය.

උදාහරණ :-

අවසන් වරට ඔසප් වීම 2008.07.15 නම් දරුවා ලැබීමට බලාපොරොත්තු වන දිනය වන්නේ,

2007.07.15 + මාස 09 දින 07 (දින 280
2009.04.22 වේ.

🔴 රජකම ලබන ඔබ

පිය පදවිය පිළිබඳ සුභ පණිවුඩය ඔබට රජකම ලැබුණා වැනි සතුටක් ගෙනෙන්නට ඇති.

කුසෙහි වැඩෙන දරුවා ඔබ දෙදෙනාගේ වස්තුවයි. ගැබ් දරන කාලයේදී ඇතිවන අපහසුතා මව තනිවම දැරිය යුතු වුවත් එම අපහසුතා මගහරවා ඇය සතුටින් තැබිය හැකි සුවිශේෂී තැනැත්තා ඔබයි. එය කුසෙහි වැඩෙන දරුවාගේ නිරෝගී වර්ධනයට ඉතා වැදගත් වේ. ගර්භණී අවස්ථාවේදී තම බිරිඳගේ තත්වය වටහා ගෙන ඇයට කාරුණික වීම හා ආදරය දැක්වීම ඉතා වැදගත්. ගැබිනි සමයේදී මවට ඇතිවන අපහසුකම් නිසා සමහර විට ඈ ඉක්මනින් කිපෙන සුළු විය හැකියි. ඇතැම්විට දොම්නස් ස්වභාවයෙන් සිටිනවා විය හැකියි. එවැනි අවස්ථා වලදී ඉවසීමෙන් හා ආදරයෙන් ඇයට ප්‍රතිචාර දැක්වීම ඔබේ වගකීමයි.

එසේම ගෙදර දොරේ කටයුතු වලදී උදව්ව වෙනදාට වඩා මේ කාලයේදී ඇයට බොහෝ අවශ්‍ය වේ. වෙනදාට වඩා ඇය ගැන සොයා බැලීම, ආදරය කිරීම, නිසි ආහාර, වෛද්‍ය උපදෙස්, වෙද හෙදකම් ලබාදීම ද ඔබේ යුතුකමකි. හැකි සෑම විටම ඇය සමඟ පූර්ව ප්‍රසව සායනය සඳහා ඔබත් සහභාගී වන්න.

ඔබේ බිරිඳ සතුටින් තැබීමේ හැකියාව ඔබ සතුයි. විවේකී අවස්ථා වලදී ඇගේ අපහසුතාවයන් ගැන කතා කිරීම, ආගමික ස්ථාන, සුන්දර ස්ථාන වලට රැගෙන යාම ඔබට කළ හැකියි.

එසේම කුසෙහි වැඩෙන ඔබේම කිරිකැටියා සමඟ කතා කරන්න. ආදරයෙන් සුවදුක් විමසන්න.

පවුලේ අඩදබර ඇති නොවෙන්නට සමගිය වැඩන්නට මූලික වන්න.

ඔබ දුම්පානය හෝ මත්පැන් පානය කරනවා නම් ඒවායින් ඈත් වී පවුල ගැන වැඩි අවධානයක් යොමු කිරීමට මෙය අවස්ථාවක් කරගන්න. සෑමවිටම ගැබිනි මව ඉදිරියේ දුම්පානයෙන් වළකින්න.

ඔබේ ආදරණීය බව ඔබේ බිරිඳගේත්, ඔබේ කිරිකැටියාගේත් නිරෝගී, සුන්දර අනාගතයක පදනම වනු ඇත.

👩‍⚕‍ උපදේශකත්වය :- ආචාර්ය දයානි සිරිවර්ධන මහත්මිය
📙 සැකසුම :- වෛද්‍ය Y.A.U.D. කරුණාරත්න, වෛද්‍ය N.D. කොඩිතුවක්කු
(දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ප්‍රසූති තන්ත්‍ර කෞමාරභෘත්‍ය අධ්‍යයන අංශය)


Post a Comment

0 Comments