දහතුනක් යහපත සලසන ආයුර්වේදයේ සැබෑ බුලත් සැපීම

මෙහි බුලත් යනු බුලත් විට (තාම්බූල වීටිකා) වෙයි. පූර්ව පද ලෝපයෙන් (වීටිකා) වෙයි. චරක මතය අනුව, ධූම පානයට අනතුරුව පැවැත්විය යුතු සෞඛ්‍ය සංරක්ෂණ විධිය බුලත් සැපීමයි. මෙම ධූම පානය අද කාලයේ බොන සුරුට්ටු සිගරට් නොවේ. මල සෙම අංජන, නස්‍ය, ධූමපාන විධි වලින් බැහැර වන නමුදු මුඛ නාසාදියෙහි (ස්‍රෝතස් වල) තැවරී පිළුන් වී සිටින කොටස සිය දුඟද පතුරවා හරී. බුලත් සැපීමේ ප්‍රධාන පරමාර්ථය මේ දුඟද පහකර දැමීම යි.

දත් දෙපෙළ ව්‍යායාමයෙක යෙදවීම ඊලඟ පරමාර්ථය යි. තමන්ගේ කට පිරිසිදුව ද, සුවඳවත්ව ද, රුචිමත්ව ද තබා ගැනීමට බලාපොරොත්තු වන අය බුලත් සැපිය යුතු යැයි චරක මුනිවරයාගේ කියමනකි.

නියම බුලත් විටට හොඳ ලොකු බුලත් කොළයක් ද, සාදික්කා, කරාබු, කපුරු, වල් ගම්මිරිස්, තකුල්, කයිප්පු, පුවක්, එනසාල්, හුණු යන මේවා ඇතුලත් විය යුතුය. සමහරු දුම්කොළද එකතු කරති. හුණු නැතිව බුලත් සපන්නෝ ද වෙති. මෙහි තකුලු යනු ලතා කස්තුරිය.

ඉන්දියාවේ උසස් පවුල් වල අය උත්සව අවස්ථාවේදී සැබෑ කස්තුරි ද විටට එකතු කෙරෙති. එය විකා ගිලිති. දුම්කොළ නැති සෙසු විට වර්ග සපා දෙතුන් වරක් කෙල ගසා, පසුව උනන පිරිසිදු කෙල ගිලීම හා හපය විසි කිරීමද සාමාන්‍ය පිළිවෙළයි. දුම්කොළ ඇතුලත් බුලත් විට සපා ගිලීමද, වැඩි වාර ගණනක් විට සැපීම ද අහිතකර ය. බුලත් සැපීමට අනතුරුව කට සෝදා දැමීම ද අනිවාර්ය කාර්යයකි.

බුලත් කොළයට පස්පලවත එකතු කිරීම මේ රටේ පැවති පිළිවෙලයි. සාදික්කා, තකුල්, හීන් එනසාල්, අරළු, පුවක් යන පස්වගය පස්පලවත ලෙස සිංහල යෝග රත්නාකරය (428) කියයි. ථුපවංශයත් පූජාවලියත් කියනුයේ කපුරු, තකුල්, නාරං ලෙලි, කරාබු, ඉඟුරු යන පස්වගය එයට අයත් බවකි. හැම දෙනාම පාහේ දැන සිටින ගාලු බුලත් විටට බුලත්, පුවක්, හුණු, දුම්කොල, කරාබු, පළඟ පොතු, ඉඟුරුපියලි, කරදමුංගු, කයිප්පු යන මේවා ඇතුලත් කරන බව සැලයි. රටේ සාමාන්‍ය බුලත් විටට බුලත්, පුවක්, හුණු යන තුන් වර්ගයෙන් පිලියල වෙයි.

සුශ්‍රැත මතය අනුව නින්දෙන් පිබිඳුණු විටද, කෑම කෑමට අනතුරුවද, නෑමට අනතුරුවද, ඇතැම් ලෙඩ වලදී වමනයේ උපදනා වේගය නතර වූ විටද සාමාන්‍ය බුලත් විටක් සැපීම ප්‍රමාණවත් ය. එයට සාදික්කා ආදිය නොයෙදීම වරදක් නොවේ.

වාග්භට කියනුයේ බුලත් විට සඳහා බුලත් කොළ දෙකක්ද, පුවක්, හුණු, කයිප්පු යන තුන් වගය ද ගත යුතු බවයි. විට සැපීමේ අවස්ථා දක්වන එතුමා රති කෙළියෙහිදී ද, අළුයම නින්දෙන් අවදි වූවාට පසුවද, කෑම බීම ගැනීමට පසුවද, වමනයට පසුවද, යුද්ධාරම්භයේදී ද, උගතුන් සභාවේදීද, බුලත් සැපිය යුතු බව නිර්ධාරණය කරයි. මේ අදහස අනුමත කොට ලන සංස්කෘත යෝග රත්නාකරය, දිනපතා අළුයම්හි ද, භෝජනයට අනතුරුව ද, රති කෙළිය ඇරඹීමට පෙර මෙන්ම පසු ද, සභාවලදී ද බුලත් නොකන පුඟලා තිරිසනෙකියි කියයි.

නිසි අයුරින් බුලත් සැපීමෙන් අත්වන ප්‍රයෝජනය ගැන මෙයින්ම දත හැක. නොනිසි අයුරින් සැපීමෙන් අත්වන අලාභ හානි ගැනද කා හටත් පාහේ හොඳ හැඟීමක් ඇත. නියමයට එකඟවැ බුලත් සැපීමෙන් කට පිරිසිදු වෙයි. මුඛයෙහි කාන්තිය හා සෞන්දර්යය යන දෙකම පැන නැඟෙයි. තවත් විශේෂ විස්තරයෙකින් කියතහොත් හකු දෙකද, දත් දෙපෙළද, කටහඬද, දිවද හොඳින් පිරිසිදු වෙයි. සෙම බේරීම නතර වෙයි. උගුරේ ලෙඩ පහවෙයි. බුලත් විටට හෘදය පලකාරයෙකැයි ආයුර්වේදයේ ආදී පුරුෂයෝ කීහ.

ආයුර්වේදීය නිඝංටුකාරයෝ බුලත් කොළය මෙන්ම බුලත් විටද ගුණ මුඛයෙන් වර්ණනා කළහ.

බුලත් විට රස විසින් කටුක ද, තිත්ත ද, මධුර ද, ක්ෂාර ද, කෂාය ද වෙයි. වීර්යය විසින් උෂ්ණය, වාතයද, පණු දොසද, සෙමද, දුගඳද මැඩ හෙළයි. කටට ආභරණයක් වැන්න. මුඛ කුහරය පිරිසිදු කරයි. කාමාශාව වැඩි දියුණු  කරයි. මේ යහපත් කම් දහතුන දෙව්ලොවෙහි පවා දුර්ලභයැ යනු යෝග රත්නාකරයේ නිඝණ්ටු ප්‍රකරණය බුලත්  විට වර්ණනා කරන අයුරු යි. මෙහි අවසන් වැකිය ධන්වන්තරී නිඝණ්ටු ආදියෙහි එන්නේ මේ යහපත් කර්ම දහ තුනකින් හෙබි බුලත් විට "දෙව් ලොවෙහි පවා ලැබිය නොහේ" යන ලෙසයි. තවත් සුළු වෙනස්කම් ද ඇත.

උදෑසන පුවක් වැඩි කොට ද, මද්දහනේ කයිප්පු වැඩි කොට ද, රාත්‍රියෙහි හුණු වැඩි කොට ද බුලත් සැපිය යුතු යැයි සංස්කෘත යෝග රත්නාකරයේ එන කියමනකි. බුලත් කොළයේ කොන් දෙක හා ලොකු නහර ද ඉවත් කොට සපා දෙවරක් කෙළ ගසා, එයින් පසු උපදිනා ද්‍රව කොටස අමා බඳු හෙයින් ගිලිය යුතු ය යි ද එකී ග්‍රන්ථය සඳහන් කරයි.

බුලත් විටේ මෙබඳු උසස් ගුණ රැසෙකින් හොබනා නමුදු , එහි තීක්ෂණ, උෂ්ණ වීර්යයක් ඇති හෙයින් එය හැම දෙනාටම හැමදාම සේවනය කිරිමට සුදුසු දෙයක් නොවේ.

විශේෂයෙන් රක්ත පිත්තය, උරඃක්ෂකය, ක්ෂීණත්වය, පිපාසාධිකතාව, මුර්ජාව යනාදී ලෙඩ වලින් පෙලෙන්නවුන්ට ද කැලැඹුණු නෙත් ඇතියවුන්ට මෙන්ම විශේෂයෙන් මැඩී ගිය අයටද බුලත් සැපීම මුළුමනින්ම අයහපත් ය. සුඛිතව සිටින අයට වුවද රළු බව, දුබලව උගුර කට වියළීම යන මේවා ඉස්මතුවන අවස්ථාහිදි බුලත් සැපීම ගුණදායක නොවේ.

විද්‍රධි, උපජිහ්විකා, ගලගණ්ඩ, අර්බුද, තාලු රෝග, දන්ත රෝග, ගලරෝග, ශ්වසාදී කළු රෝග යන මේවා ඇති කල්හිද, විරේක බේතක් පානය කළ අවස්ථාවේ මෙන්ම කුසගින්නෙන් පෙලෙන අවස්ථාවේ ද බුලත් සැපීම නුසුදුසු යැයි යෝග රත්නාකරය ආදිය කියයි.

🧓 තොරතුරු :- පණ්ඩිත ආර්යදාස කුමාරසිංහ මහතා

Post a Comment

0 Comments