උඳුපියලිය වලින් හදන ඖෂධීය උඳුපියලිය පානය

මිදුලේ එළිමහන් බිම් වල පොළවට සමාන්තරව පැතිර යන කුඩා පැළෑටියක් වන උඳුපියලිය ඔසු ගුණ පිරි වටිනා ශාකයක් ලෙසයි හැඳින්වෙන්නේ. පයට පෑගුනත් ඇසට ගුණ දෙන්නේ යැයි කියමන පැරණි ගැමි සංස්කෘතිය තුළ ප්‍රචලිත වූයේ ඒ නිසා විය හැකි‍යි. හීන් උඳුපියලිය, බෙහෙත් උඳුපියලිය යන නම් වලින් හඳුන්වන ප්‍රාදේශීය නම කිහිපයකි.

විවිධ රෝග ප්‍රතිකාර සඳහා බහුලව යොදා ගන්නා හීන් උදුපියලිය විෂ නාශකයක්, වේදනා නාශකයක්, කුසගිනි වර්ධකයක් හා ශක්ති ජනකයක් ලෙස සිරුරේ ක්‍රියාත්මක වෙයි. ඇසේ ස්නායු ආබාධ නිසා පෙනීමේ සංකූලතා ඇති වූ විට මුලදීම උඳුපියලිය ගෙන ප්‍රතිකාර කළහොත් පෙනුම නැවත ලබාගත හැකි බව පුරාණ වෙද පතපොතේ සඳහන්.

මධ්‍යම පළාතේ කැඩුම් බිඳුම් සඳහා ද උඳුපියලිය භාවිතා වී ඇති අතර රෝග රැසකට ප්‍රතිකර්ම ලෙස යොදා ගන්නා උඳුපියලිය ශාකයේ ඖෂධීය ගුණය නිසාම විවිධ අයුරින් ආහාරයට එක්කර ගනියි.

🔴 ඖෂධීය ප්‍රතිකර්ම

☘️. ළදරුවන්ගේ අජීර්ණ වලට හීන් උඳුපියලිය යුෂ ස්වල්පයක් දීම ඔසුවකි.

☘️. සෙංගමාලය, ශරීරයේ විෂ, අතීසාරය හා ඇස් රෝග ආදියට හීන් උදුපියලිය කැඳ ගුණය.

☘️. බඩ පිපුමට උඳුපියලිය කොළ පවනේ වියළා කුඩු කර කෝපි මෙන් පානය කිරීම ගුණදායකය.

☘️. හාවුන්ගේ වසුරු උඳුපියලි කොළ  යුෂින් අඹරා ගෑම ඉදිමුම් සඳහා ප්‍රතිකර්මයකි.

☘️. රක්තවාතයට හීන් උඳුපියලිය අමු කහ, කයිප්පු, තැඹිලි වතුරෙන් තලපයක් ලෙස කකුලේ අධිකව පැලී ඇති තැන්වල ආලේප කිරීමෙන් සුවය ලැබේ.

☘️. පරණ තුවාල සඳහා හීන් උඳුපියලිය දලු මිටක්, අමු කහ ස්වල්පයක් සහ රත්හඳුන් ඇල්වතුරින් ගලක අඹරාගෙන තුවාලය හොඳින් නිවුණු උණු වතුරින් සෝදා ඒමත අඹරාගත් තලපය ගෑමෙන් සුවය ලැබේ.

☘️. විසර ගෙඩි සඳහා හීන් උදුපියලිය, කෝමාරිකා මද, පෙරුම්කායම්, අමු කහ දල්ලක් පොල්කිරි වලින් තම්බා හීන් වෙන්න අඹරා විසර ගෙඩිය වටේ ආලේප කල හැකියි.

☘️. උඳුපියලිය කොළ අඹරා පුවක් ගෙඩියක පමණ ගුලියක් එළකිරි සමඟ මිශ්‍රකර උදේ පානය කිරීමෙන් මව්වරුන්ට මනාව කිරි එරෙන බව සඳහන්.

☘️. උඳුපියලිය කොළ බුලත් මෙන් සපමින් කෙල ගිලීම තොල් පැලීම සුව කරයි.

☘️. උඳුපියලි වියළා කුඩුකර උළුහාල් කුඩු තේ හැඳි භාගයක් දමා කෝපි මෙන් පානය කිරීමෙන් මධුමේහයේදී ඇතිවන පිපාසය සංසිඳුවයි.

☘️. මුත්‍රා අඩස්සිය ඇති අයට සම්පූර්ණ ශාකය තම්බා බීමට දෙයි.

☘️. පත්තෑ විෂට ශාකය දෙහි ඇඹුලෙන් අඹරා ගෑම ද, පොලොන් විෂ හැරීමට උඳුපියලිය යුෂ පතක් දෙන බව සඳහන්.

🔴 උඳුපියලිය පානය

අවශ්‍ය ද්‍රව්‍ය :-

• අමු උඳුපියලිය මිටක්
• ලුණු ස්වල්පයක්
• සීනි තේ හැඳි 02 ක්
• ගම්මිරිස් කුඩු ස්වල්පයක්
• දෙහි ස්වල්පයක්

උඳුපියලිය මිටක් හොඳින් සෝදා පිරිසුදු බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩරයකට දමා එයට වතුර වීදුරුවක් එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. පසුව එය පෙරා එයට සීනි, ලූණු, දෙහි ස්වල්පයක් සහ ගම්මිරිස් කුඩු එක්කර හොඳින් මිශ්‍ර කර පානයට එක් කර ගන්න. (මෙය උදෑසන පානය කිරීම වඩාත් සුදුසුයි)

👧 තොරතුරු :- වී.ජී. ස්වර්ණලතා මහත්මිය (උමංදාව දේශීය ආහාර පර්‍යේෂණ ව්‍යාපෘතිය)
© All Rights Reserved

Post a Comment

0 Comments